Aala Loke (ආල ලෝකේ) : The Fusion Of Illusion
මා ස්වප්නමය විශ්වයක් බඳු වූ සප්ත ස්වර දැහැනක ගිලී සිටියා මතකයි, නුඹ මා හට සඳක් වී දිලෙනු වස් සෙනෙහස් අම්බරේ කාන්ති දී පායයි, හැල්මේ හඹා ගිය සිහිනයෙන් මත් වූ දෙනෙත් අවදි කරන්නට හැක්කේ ප්‍රේමයේ හිරිකඩට නොවන බව නුඹ දැනගත් සමයේ, නුඹ මගෙන් දුරස් වන බව නොවැටහෙන්නට තරම්ම මේ විශ්වය ගැඹුරට මා කිමිදුනේ මන්දැයි යලි යලිත් මා සිතයි.
නුඹේ ලොවත්, මගේ ලොවත් එකිනෙක හමුවුණු සුන්දර සැඳෑවෝ තවම මතකය සරසයි, ඒ සුන්දර මතක අතරින් නොදැනිම කඳුළු බිඳුවක් ගලා යන්නේ, අප දෙදෙනාගේ දෙලොව ගැටුණු දා පටන් ඇති වූ හිස්කම මා වසාගෙන ඇති බැවිනි, දැන් මා ළඟ නුඹ නොමැති බැවිනි.
මා ගිලී කිමිදී ගිය නාද, තාල මුසු වූ වෛවර්ණ සිහිනයේ පිපාසය දැන් කෙමෙන් සංසිඳෙමින් පවතී, ඒ තාවකාලික ක්ෂණයකට විය හැක, නැතහොත් සදාකාලික කල්ප ගණනකට විය හැක, ඒ කෙසේ වූවත් මා දන්නේ සංසිඳුණු පිපාසාවෝ යලි යලිත් ඇති වන බව පමණි, ඒ ස්වභාවයට මා අවනත වන්නේ නුඹ හට මා තුල ඇති ප්‍රේමයත්, මා තුල සංගීතයට ඇති ප්‍රේමයත් අතර බෙදුම් රේඛාව මත සමබර අඩි තබන්නට මා තවමත් අපොහොසත් බැවිනි.
හැල්මේ දිව ගිය ගමන් මග අතරේ මේ විශ්වයේ යම් තැනක මා දැන් නවතිමි, ආපසු හැරී බැලූවත් නුඹගේ සේයාවකුදු නොපෙනේ, කොහොමටත් රික්තයක් ඇති බැවින් මෙහි හුස්මක් ගන්නට අපහසුයි. හුස්මක්වත් ගන්නට තරම්වත් ඉස්පාසුවක් නැති පෙරදිනක මා සැනසූ හුස්ම දුන් ඒ සඳවත නුඹයි, දැන් ඒ සඳවත හැබැහින් මට නොපෙනෙයි, පෙනී නොපෙනී යන ඡායාවකදු නොපෙනෙයි, නිවෙන්නට අවැසි මොහොතක, මා හට ඉතිරිව ඇත්තේ කාලාන්තරයක් පුරා ඉඩෝරයට හසු වී සිඳී ගිය පණ අදින ප්‍රේම ගඟුලක ඉවුර මත හිඳ සුසුමක් හෙලීම පමණි.
යළිඳු ගං දිය උතුරන්න නම් මේ ඉඩෝරය පහව යා යුතු වේ, දැන් වැසි වැටෙන්නට සැරසුණත් මා හට අවැසි වන්නේ පෙර මා හට ප්‍රේමණීය පහස වූ ඒ සිහිල් වර්ෂාව ම පමණි, ඒ වර්ෂාවෙන් අනතුරුව පායා එන සුපුරුදු සඳ මඩල පමණි. සියලු දේ වෙනස් වන සුළු වුවත් එසේ නොවනා එකම දෙය නම්, මම මේ ගීතවත් විශ්වයේ ඔබ මොබ සරන්නෙක් වෙමි, ඔබ ඒ සරන්නාගේ ආල ලෝකයේ සදාතන සඳවතිය වනු මැනවි.
මගහැරුණු සඳවතක සෙනෙහෙබර උණුහුමක අඩුවක් හද ගැභට දැනෙන බව ඇත්තයි.
යළි යළිත් මා පතන ප්‍රේමයේ නුඹේ රුව පමණක් ම දකින විට,
අතීතයේ නිම් නොමැති විශ්වයක නුඹ මගහැරුණු තැන පිළිබඳව මා මගෙන් විමසයි.
Written by Medhan Rasaschira
· Performed by Nipun Geesath
· Music Composed, Arranged, Mixed & Mastered by Nipun Geesath
· Lyrics & Melody - Nipun Geesath
· Guitars - Sandesh Rathnayake
· Kazoo - Nipun Geesath
· Voice Over - Valuka Abeysinghe
· Script written by Nipun Geesath & Sandesh Rathnayake
· Artworks & Animations - Nipun Geesath @ Sakwala Studios
· AI Videos Generations by Nipun Geesath
· Edited by Nipun Geesath
· Colorist - Sandesh Rathnayake @ RigRaag Studios
· Creative Wooden Craft - Mr. Jayathilaka @ Wood Carving Dad
· Creative Artwork - Raveena Mandodari
· Blog by Medhan Rasaschira


Nice work😍🔥
ReplyDelete❤️
Delete