Chandrawani (චන්ද්‍රාවනී) : Journey to the Moon

 

වසරේ කෙටිම මාසය අවසන් වීමට ඇත්තේ තවත් දින දෙක තුනකි. බයිසිකල් තුන හතරකින් ගලහ පාර දිගේ බෙල්වුඩයට එන්නට ලැබීමනම් සුන්දර සහ අපූරු අත්දැකීමක් විය. කඳු මුදුනට ළඟා වන විට රාත්‍රී 7ට ආසන්න වී තිබුණද හඳ එළිය කඳු මුදුන වෙලාගෙන සිටි හෙයින් විදුලි ආලෝකයක් අත්‍යවශ්‍ය වූයේම නැත. ඒ වන විටත් තවත් තුන්ගොල්ලක් පමණ කන්දේ එක් එක් ඉසව්වල camp කර තිබුණි. කඩිමුඩියේ tent අටවන්නට පටන් ගත් අපි අඩහෝරාවක් ඇතුලත tent දෙකම අටවාගත්තෙමු. 

වැඩිපුර ගෙන ආ ground sheat ද බිම අතුරා ගිනිමැලය සූදානම් කරන්නට දර සොයන්නට පටන් ගන්නා විට කට්ට කලුවර වැටී තිබුණි. කන්දට එන ගමනේ සිදුවූ අකරතැබ්බ නිසා අප මදක් පමා වුවත් නැවතත් එම කරුවලේ දර සෙවීම සුන්දර අත්දැකීමක් බවට පත්වන්නට විය. එහෙන් මෙහෙන් එකතු කරගත් දර කෝටු පරිමාවට තබා පත්තු කරන්නට පටන් ගතිමු. කන්ද මුදුනේ වූ අධික හුළඟ නිසා ගිනි දැල්වීම ඉතා අසීරු විය. උඩහ පැත්තේ  tent එකේ අයියලාගෙන් හමුවූ භූමිතෙල් භාගයට ස්තුති වන්නට ගිනිමැලය දල්වගන්නට අපේ අයියලා සමත් වූහ. ගිනිමැලය පසෙකින් දැල්වෙද්දී තවත් පසෙකින් ලිපක් දැල්විණි. රාත්‍රී ආහාර භෝජන සකසන්නට පටන් ගතිමු. බිම අතුරා තිබුණු ground sheat එක දුටු ගමන් විඩාව මොර දෙන්නට පටන් ගත්තේය. ඉවීමේ කලාවට කළ හැකි උදවු හැකි පමණින් කර දී මදකට තණකොළ ගොල්ල මත වැතිරුණෙමි.

චාරිකාව පටන් ගත්තේ එතැනිනි.

අංශක 180 ක පමණ දැවැන්ත පරාසයක සුපැහැදිලි සුපිරිසිදු අහසක් තුල මා දැන් අතරමං වී සිටිමි. කෙළෙවරක් සිතාගන්නට පවා නොහැකි අනන්ත ආකාසයක් දෙස මම එක එල්ලේ බලා සිටිමි. සඳ, තාරුකා අතර මොහොතකට මම තනිවිය. කෙමෙන් කෙමෙන් මම අහස විපරම් කරන්නට පටන් ගත්තෙමි. අහස සිසාරා මම මගේ දෙනෙත පා කලෙමි. දැන් අඩහෝරාවක් පමණ ගතවී හමාරය. තවමත් තණකොළ යාය මත වැතිර සිටින මා මේ මොහොත වන විට බලා සිටින්නේ මගේ දෙපා මැදින් වූ පහළ ආකාසය දෙසය. උසට වැවුණු තෘණ පඳුරු මැද්දෙන් ඈත ආකාසයේ සඳවතිය සිනහසෙයි. ක්‍රමයෙන් ඇයගෙන් ඉවතට නෙත් යොමු කල මම තරු රටා හඳුනාගන්නට තැත් කලෙමි. ඒ අතර තරු රටාවලින් වෙන් වූ එක් තනි තරුවක් මගේ නෙත ගැටුණි. හේතුවක් දැන හෝ නොදැන ඒ තාරකාව දෙස මා බොහෝ වේලාවක් බලා සිටියෙමි. මට ඉතා සුවපහසු බවක් දැනුණි. මද වේලාවක් ගතවිය. මම තවමත් තාරුකාව වෙත නෙත් යොමාගෙන සිටියත් මා දැන් බලාසිටින්නේ සඳවතියගෙන් බොහෝ දුරස් වූ වෙනත් මානයක් දෙස ය. එසේ වූයේ කෙසේද? මම පාන්දර ජාමේ වෙන තුරු අහස දෙස බලා සිටියේවත් ද? නැත. ගත වී ඇත්තේ තත්පර කිහිපයකි. තවම අයියලා මල්ලිලා රාත්‍රී ආහාරය සකසනු පෙනේ. කුමක් සිදු වූවාද? මම නැවතත් එම තාරුකාව සොයන්නට වෙර දැරීමි. නැත. එය සොයාගන්නට නැත.

"තාවකාලික තරුවක්" ! මම මටම කොඳුරාගතිමි.

මට සිදුව ඇති දේ තේරෙන්නට පටන්ගත්තේ එවිටය. තාරුකාවක් කියා මා චන්ද්‍රිකාවකට රැවටී ඇත. මගේ මුවඟට සියුම් සිනාවක් පහළ විය. 

"හෙහ්.. හැමදේම තාවකාලිකයි !" යනුවෙන් සිතමින් මම තණකොළ යාය මත සිටගත්තෙමි. 

මා වටා වූ සියලුම දෑ තාවකාලික දේවල් විය. 

කූඩාරමක්, ගිනිමැලයක්, බැඳීම්, සඳ, තාරුකා, චන්ද්‍රිකා ඇතුලු පරිසරයත්... මමත්...
මේ සියලු දෑ තාවකාලිකය.

ජීවිතයේ ඇතැම් මතකයන් අතර අවබෝධයෙන් කිමිදෙමින් මම නැවතත් තණකොළ යාය මත හිඳ ගතිමි.
මා අත වූයේ ඉතා අඩු බැටරි බලයක් සහිත වූ මගේ දුරකතනය පමණි. 
එබැවින් මගේ ඩිජිටල් ඩයරිය මත මෙසේ ලීවෙමි.



"තරුවක් කියා රැවටුණා චන්ද්‍රිකාවකට 
එලියක් තියා නුඹ ගියා තාරුකා මැදට 
නුඹ දෙස බලා වින්දා මම හවසක්ම 
මේ හීතලේ නුඹ ගියා මට නොකියාම 

සඳවතිය කියපන් මට නුඹ ඈව දැක්කාද?
කලු පාට රෑ අහසේ වලාවක ඈ හැංගුණාද?
මේ හීතලේ මට ඉන්නට බෑ හැම රෑක 
ලෝ කෙලෙවරින් එහාවත් ඈ සැඟවීද?

චන්ද්‍රාවනී චන්ද්‍රාවනී 
චන්ද්‍රාවනී රාධාවනී"



සැ.යු  :  නිර්මාණකරණයේ තිරය පිටුපස කතාවත්, නිර්මාණයේ තිරය පිටුපස කතාවත් එකම කතාව නොවෙන්නට ඉඩ ඇත. 

කියවීමෙන් තරු අතරට යන්නට හැකි බව ඔබ දැන සිටියාද?

පිවිසෙන්න තරු අතරට : https://nipungeesath.artstation.com/projects/LR14ok
( Chandrawani 360° - Artwork Exploration )


Nipun Geesath © 2024

Comments