Tharukawe (තාරුකාවේ) : The Galactic Love
සන්ධ්‍යාව එළඹ ඇත. කාමරයෙන් ඉවතට ආ මම කෙලින්ම ඇවිද ගියේ නිවසේ ඉදිරිපස වූ ඉස්තොප්පුවටය. එය මා මෙතෙක් දැක තිබූ සුන්දරම දර්ශන පථයක් හිමි ඉස්තෝප්පුවක් විය. එහි කෙළෙවර වූයේ හාන්සි පුටු කීපයකි. මෙය සරුසාර හරිත නිම්නයකි. අප සිටින කන්දත්, අපට ඉදිරිපස වූ කන්දත් අතර වූ නිම්නයේ හරි මැදින් ගලා යන දිය පහරකි. නොකඩවා ඇදහැලෙන එහි කෙඳිරිය නොනැවතී ඇසේ. කඳු ශිඛරයන් දෙක අතර වූ අවකාශය තුල මීඳුම් මිත්‍රයෝ ඒ මේ අත පාවෙන්නෝය. ඉදිරිපස වූ කන්දේ දකුණු පස කෙළෙවර හැරෙන්නට අනෙක් සියලුම කඳු මුදුන් පයිනස් ශාකයන්ගේ වාසභූමින් ය. කන්දේ දකුණු පස වූයේ එම කඳු පන්තියේ උසම මුදුනයි. එය පතන භූමියක් වූ අතර, එහි තැනින් තැන පමණක් පයිනස් ශාක දැකගන්නට ලැබුණි.
"අර කොහෙද?" මම ඇසීමි.
"ඒ හන්තාන" අයියා පිළිතුරු දුන්නේය.
ඒ හන්තාන කඳුවැටියේ බටහිර මායිම විය. ක්‍රමක්‍රමයෙන් එය වලාකුළුවලින් වැසී යන අන්දම මම බොහෝ වේලාවක් බලා සිටියෙමි. මුලින්ම එහි පොළොව මට්ටම මීදුමින් වැසී ගියේය. පෙනෙන්නට තිබුණේ පයිනස් තුරු මුදුන් පමණකි. එය සොභාදහමේ මායාකාරී දර්ශනයක් වූයේය. තවත් සුළු මොහොතක් තුල, එම කඳු මුදුන ඇතුලු අවට වටපිටාවම මීදුමෙන් වැසී ගියේය. හීතල අන්ධකාරය අවට වටපිටාව වෙලා ගනිමින් තිබුණි.
එම හැඟීම් වචනයට හෝ තනුවකට හරවන්නට මට නොහැකිය. නමුත්, මම ලීවෙමි. මිමිණුවෙමි.
"මේ ඉමේ නිම්නයේ මා වෙලී
හීතලේ වාලුකාවේ දැවී
හීන යායේ මා වෙලී
මී දුමාරේ මා හා බැඳී
හීන රේඛා බිඳී...
තාරුකාවේ... තාරුකාවේ...
දිදුලපන් සඳ ඈතින් ඉඳන්...
නුඹ ඈ හට ලං නොම වීයන්...
මේ හැඟීමේ මා වෙලී
හිඳින් ප්‍රේමියේ හද පතුලේ කොනේ
තුරු මුදුන් සිසාරා වෑහේ
ආලේ නුඹගේ සඳවතියේ...
තාරුකාවේ..."
Nipun Geesath
2023/January
@ Nillamba, Western Hanthana
Memories of Hanthana Mountain Range :
To dive into the Conceptual Artwork :
https://nipun-artquest.artstation.com/projects/NylDv5












Comments
Post a Comment